අසාද් සාලි කිව්වාට අධිකරණයේ ත්‍රස්තවාදයට සම්බන්ධ විනිසුරුවරු නෑ! ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වෙනවා – අධිකරණ ඇමති

May 6, 2019 at 3:15 pm | by admin

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසන ආකාරයේ ත්‍රස්තවාදය සම්බන්ධ අධිකරණ විනිසුරුවරු පිළිබඳ තමන් වෙත වාර්තා වී නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

එහිදි අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරමින් දක්වා තිබුණේ,

“ඊයේ දවස වනවිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලී මහතා විසින් අධිකරණයට සම්බන්ධව විනිශ්චයකාරතුමන්ලා පිළිබඳව යම් කිසි හෙළිදරව්වක් කරන්නට යෙදුනා මාධ්‍ය හරහා. මම මොනම හේතුවකටවත් මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදානම් නැති වුණත්, මාධ්‍ය හරහා වෙච්ච හෙළිදරව්වක් නිසා ඒ සඳහා මට මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන්න වෙලා තියෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම මම ඇත්තටම සන්තෝෂ වෙනවා ආණ්ඩුකාරතුමා මේ පිළිබඳව විෂය භාර ඇමතිවරිය හැටියට අපිව පුද්ගලිකව දැනුවත් කරලා හෝ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා දැනුවත් කරලා, ඒ අවශ්‍ය කටයුතු කරන්න අපිට උපදෙස් ලබා දුන්නා නම් .

නමුත් එහෙම කිසිම දෙයක් නොකර මම හිතන්නේ මේ වෙලාවේ ඉතාම ස්වාධීන අධිකරණයක් රටේ ක්‍රියාත්මක වන වෙලාවක නීතියට ගරු කරමින් නීතිය ක්‍රියාත්මක වන වෙලාවක විනිශ්චයකාරවරයෙක් කළ සිද්ධියක් හෝ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට කෙලින්ම කථා කිරීම ඒ තරම්ම හොද ක්‍රියාවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ පිළිබඳව මම මේ අවස්ථාවේ හෙළා දකිනවා .

මගේ විශ්වාසයේ හැටියට නම් එහෙම කිසිම විනිශ්චයකාරවරයෙක් සම්බන්ධව මේ වන තෙක් අපිට කරුණු අනාවරණය වෙලත් නැහැ. ඒ වගේම මම ඇත්තටම මේ සම්බන්ධයෙන් සිත් තැවුලකට අපේ විනිශ්චයකාරතුමන්ලා පත් වෙලා ඉන්නවා නම් මගේ කනගාටුව ඒ අයට ප්‍රකාශ කරනවා.

හැබැයි මේ තත්ත්වය රටේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මොනම තත්ත්වයක හෝ තරාතිරමක කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් දේශපාලන භේදයකින් තොරව තනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමකින් තොරව අවශ්‍ය උපරිම කටයුතු කරන්න අපි ඕනෑම වෙලාවක සුදානම් කියන එකත් මේ අවස්ථාවේ දැනුවත් කරනවා යනුවෙන්” අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස