අසරණයන් පිරිසකට සැනසිලිදායක පුවතක්… බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූ 17කට වන්දි…!

January 7, 2025 at 2:18 pm | by emanisa.lk

පසුගිය කාලයේ සිදු කරන ලද අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධභාවයට පත් වූ රෝගීන් 17 දෙනෙකු සඳහා වන්දි මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“පසුගිය කාලයේ තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කළ සමාගම් හඳුනා ගෙන තිබෙනවා. ඒ ක්‍රියාවලිය වුණේ කොහොමද කියලා අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා. නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයට භාජනය කරන ලද රෝගීන් ගණනාවකගේ ඇස් අහිමි වීමේ තත්ත්වයන් වාර්තා වුණා. සමහර කෙනෙක් පූර්ණ අන්ධ භාවයට පත් වුණා.

ඒ අය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේඛ ලේකම්වරයෙකුගේ මූලිකත්වයෙන් කමිටුවත් පත් කරලා ඒ කමිටු වාර්තාව ලැබුණා. ඊයේ අපි කැබිනට් මණ්ඩලයේ දී තීන්දු කළා එකක් ඒ ආබාධිත තත්ත්වයට පත් කරන ලද රෝගීන් 17 දෙනෙකුට රජය මගින් වන්දි මුදල් ලබා දෙන්න. මෙවැනි ආකාරයේ වන්දි ප්‍රදානයක් මීට කලින් සිදුවෙලා නැහැ. එම නිස අපි දැන් වන්දි ක්‍රමයක් සකස් කරමින් තියෙනවා.

ඒ විතරක් නෙමෙයි මේ ඖෂධය ගෙන්වීම සඳහා මූලික වුණ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. ඒ නිසා මේ ගැන එකින් එකට විමර්ශනය කරගෙන යනවා. මීට අදාළ සියලු අයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ආයතන වෙතට අපි යොමු කරනවා.”

අද (7) පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *