අවු. 43ක් පරණ ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාව අහෝසියි…! මාස දෙකෙන් රටට ඔබින අලුත් ව්‍යවස්ථාවක්…!

October 18, 2021 at 2:40 pm | by emanisa.lk

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ සියලු කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වන විට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

අද (18) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව ප්‍රතිඥාවක් අපේ රටේ ජනතාවට ලබා දුන්නා. එය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා කියලා. අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ.ආර්.ජයවර්ධන යුගයේදීය. දැන් අවුරුදු 43 ක් ගතවෙලා තිබෙනවා. ඒ දශක 4 ½ තුළ අපේ සමාජය සෑම ආකාරයකින්ම දැඩි විපර්යාසයකට භාජනය වෙලා ගියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතියයි. සමාජයේ ස්වභාවය, සමාජයේ අවශ්‍යතා වෙනස් වන විට ඊට සරිලන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි.ඒක ව්‍යාකූල කර්තව්‍යයක්. එය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ප්‍රසිද්ධම නිතීඥයන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා.

දැන් ඒ කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්දේ අවසානයේදි එය රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා කියලා.

ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලේඛනය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නොවැම්බර් 12 වෙනිදා. ඒ පිළිබඳ අවසාන ඡන්දය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. ඒ අනුව අලුත් අවුරුද්දේ, එනම් 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවට අවදානය යොමු කිරීමට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස