අවශේෂ වනාන්තර රකින චක්‍රලේඛය අහෝසියි? – පරිසරවේදී ජගත් ගුණවර්ධන

June 30, 2020 at 9:01 am | by emanisa.lk

වෙනත් රජයේ වනාන්‍තර හෙවත් අවශේශ වනාන්තරවලට ආරක්ශාව ලබාදීම සඳහා වන සංරක්ශන දෙපාර්තමේන්තුව වෙත ඇති බලතලවලට අදාළව නිකුත් කර තිබෙන අංක 5/2001 චක්‍රලේඛනය අවලංගු කර දැමීමට රජයේ තීරණය කර තිබේ.

මේ අවශේෂ වනාන්තර යනු වටිනාකමක් නැති ඉඩම් කොටස් ලෙස සහ ඒවා ජනතාවට බෙදාදීමට හෝ රටේ සංවර්ධනයට යොදාගත නොහැකිව තිබෙන්නේත් මේ චක්‍රලේඛනය නිසා බවත්,ඒ නිසා රටේ සංවර්ධනයට බාධා කරන මේ චක්‍රලේඛනය ඉවත් කළයුතු බවත් පාලකයන්ට ගැතිකම් කරන්නන් මේ දිනවල සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහයන් ගෙන තිබෙන බවත් පෙනුනි.

නමුත්, අවශේෂ වනාන්තරවල නම අතීතයේ පටන් විශේෂයෙන් ආරක්තෂි ප්‍රදේශ ලෙස නම් නොකෙරුනත් විශේෂිතව ආආරක්ෂාවට නතුකර ගැනීමට ලක්වූ වනාන්තර හැඳින්වීමට යොදාගත් ඉංග්‍රීසි වදන වන “Other State Forest(OSF) යන්නෙහි ඍජු සිංහල පරිවර්තනයකි.

නමුත්,එය වඩාත් නිරවද්‍ය ලෙස ගතහොත්, වෙනත් රජයේ වනාන්තර ලෙස සඳහන් කළ හැකිය​.(මා භාවිත කරන්නේ මේ යෙදුමයි). එබැවින්,මෙතැනදී අවශේශ යන්නෙන් නොවැදගත් යන අරුතක් කිසිසේත් අදාළ නොවේ.

එමෙන්ම​, පසුගිය දශකයකට වඩා වැඩි කල මුළුල්ලේ මෙරටින් අලුතින් සොයාගත් සත්ව සහ ශාක විශේෂවලින් රාශියක්ම සොයාගෙන තිබෙන්නේ මේ වර්ගයේ වනාන්තර තුලිනි.

තවද​ ඇතැම් ස්ථානීය ආවේනික විශේෂ හමුවන මුළු පරිසර පද්ධතියම මෙවන් වනාන්තරවලට අයත්වීමම මේවායේ තිබෙන සුවිශේෂ වටිනාකමට තවත් නිදසුනකි.

එසේම දශක දෙකකටත් වඩා වැඩි කලක් මුළුල්ලේ ඉතා විනාශකාරී ලෙස පවත්වා ගෙන ගිය සහ ආවේනික ජලජ ශාක විශේෂ තුනක් (Cryptocoryne bogneri,Cryptocoryne wasari,Lagenandra erosa) මෙරටින් තුරන් කරලීමටත් තුඩුදුන්,ජලජ ශාක ජාවාරම 2002 අගෝස්තු වන විට අවසන් කිරීමට රේගු දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවූයේත් මෙම චක්‍රලේඛනයේ ශක්තියෙනි. මීට අමතරව ජෛව සොරුන් මෙන්ම ජෛව මංකොල්ලකරුවන් ගණනාවක් නීතිය ඉදිරියට ගෙනවිත් දණ්ඩනයන්ට ලක්කළේත් මේ හරහාය​.

ඒ නිසා මේ 05/2001 චක්‍රලේඛනය අවලංගු කිරීම රටේ සංවර්ධනයට නොව​, මෙරට ආවේනික මෙන්ම සුවිශේශී ජෛව විවිධත්වයේ තුරන්වීමටත්, ජෛව සොරුන්ට මෙන්ම ජෛව මංකොල්ලකරුවන්ටත් යළිත් මෙරට සම්පත් වනසා දැමීමට ඉඩකඩ විවෘත කර දීමටත්, මේ වන විටත් තිබිය යුතු අවම ප්‍රමාණයටත් වඩා අඩුවෙන් තිබෙන මෙරටේ වනාන්තර තව දුරටත් විනාශයට ලක්කිරීමටත් හේතු වනු නිසැකය​.
මේ නිසා පරිසරය සහ ජෛව විවිධත්වය වෙනුවෙන් මෙන්ම​,මෙරටා අනාගත පරපුර ගැන සිතා බලන්නෙකු ලෙසත්, මේ චක්‍රලේඛනය අහෝසි කිරීමේ තීරණයට ඉතා දැඩි ලෙස විරුද්ධත්වය පලකළ යුතු වේ.

අවශේෂ වනාන්තරයක් හෙවත් වෙනත් රජයේ වනාන්තරයක් ලෙස තවමත් ආරක්ෂිතව පවතින ගාලු දිස්ත්‍රික්කයේ තිබෙන වතුරාව වගුරු වනාන්තරයක් මේ ඡායාරූපයෙන් දැක්වේ.

ජගත් ගුණවර්ධන

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස