අලි නිර්වින්දන බෙහෙත් රා නිෂ්පාදනයට…!

May 25, 2023 at 8:35 am | by emanisa.lk

අලි නිර්වින්දනය කිරීම සඳහා යොදා ගන්නා ඖෂධ යොදා කෘත්‍රිම රා නිෂ්පාදනය කරන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පවසයි.

මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ද ඔහු පැවසුවේය.

සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර අළෙවිය සඳහා බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් හේතුවෙන් රජයට වසරකට රුපියල් බිලියන 130කට වඩා වැඩි බදු මුදලක් අහිමි වන බව ද ඔහු පැවසුවේය.

ඇල්කොහොල් සඳහා කෘතිම රා නිෂ්පාදනයේ දී ශරීර සෞඛ්‍යයට අහිතකර නොයෙකුත් විෂ ද්‍රව්‍ය එකතු කරන බවට රස පරීක්ෂක වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත්, මෙරට අළෙවි කරන රාවලින් සියයට 90 ක්ම නියමිත ප්‍රමිතියෙන් තොර බවත් මේ හේතුවෙන් හෘදයාබාධ, පිළිකා ඇතුළු රෝග රැසක් වැළඳීමට මෙම තත්ත්වය හේතු වී ඇති බවත් ඔහු පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහයෝගය මත නීති විරොධී මත්පැන් ජාවාරම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට සියයට 300 කින් පමණ නීති විරෝධී මත්පැන් ජාවාරම ඉහළ ගොස් තිබෙන බවත් සභාපතිවරයා කීවේය.

මහනුවර දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස