අරක්කු බාර් පර්මිට් එකකට සිරිකොත ගිණුමට ලක්ෂ 100ක්! සුරාසැල් බලපත්‍ර 84ක් විකුණලා! – මහින්ද අමරවීර පරීක්ෂණයක් ඉල්ලයි….

September 18, 2019 at 12:00 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂ ‘සිරිකොත අරමුදලට’ රුපියල් කෝටියක් ලබා දෙන ලෙස බල කරමින් මත්පැන් බලපත‍්‍ර 84 ක් නිකුත් කර තිබේද යන්න සොයා බලන ලෙස විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (17) නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

“පසුගිය දවස්වල මත්පැන් බලපත‍්‍ර 84ක් දීල මතට එරෙහිව වැඩසටහන් කරගෙන යද්දී, මෙලෙස බලපත‍්‍ර නිකුත් කිරීම අකටයුත්තක්. බලපත‍්‍ර ලබාදෙද්දී මුදල් එකතු කරනවා, සිරිකොත අරමුදලට රුපියල් ලක්‍ෂ 100 ක් දෙන්න කියලා. මේ ගැන සොයා බලන්න.” යැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

“මම මීට කලිනුත් කිව්වා යහපාලනය බලයට පත් වූදා සිට එක් මන්ත්‍රීවරයෙක්වත් මත්පැන් බලපත‍්‍ර ඉල්ලගෙන නෑ. මේ මැතිවරණය කාලේ පත්තරවල යන බේගල් අල්ලගෙන මඩ ගසනවා. මේවාට පාර්ලිමේන්තුවේ ඉඩ නොදිය යුතුයි. ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීත් මේ ප‍්‍රශ්නෙ මතු වුණා. මංගල සමරවීර මුදල් ඇමැතිතුමා කිව්වා එහෙම දෙයක් නෑ කියලා.” යැයි එහිදී නැඟී සිටි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පැවසීය.

කෙසේ වුවද තමාගේ අනුදැනුමකින් තොරව පසුගිය දෙවසර තුළ සුරාසැල් බලපත්‍ර 84ක් නිකුත් කිරීම පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ඇමති මංගල සමරවීර සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර රාජ්‍ය ඇමති රංජන් රාමනායක ප්‍රකාශ කළේ මෙම සුරාසැල් බලපත්‍ර දේශපාලකයන් සිය සමීපතමයන්ගේ නම්වලින් ලබා ගෙන ඇති බවත් එම බලපත්‍ර නිකුත් කිරීමේ වගකීමෙන් මිදීමට විෂයභාර ඇමති මංගලට නොහැකි බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස