අමාත්‍යංශ ලේකම්ගේ රියදුරු බලපත්‍රය ඉල්ලූ පොලිස් නිලධාරියාට වහා ම ස්ථාන මාරුවක්…!

October 4, 2021 at 7:24 am | by emanisa.lk

තම රියදුරු බලපත‍්‍රය ලබාගෙන පරීක්‍ෂා කළ පොලිස් නිලධාරියකුට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු බැණ වදින වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් පවතී.

නිසියාකාරව රාජකාරිය කළ අදාළ නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට ද කටයුතු කර තිබේ. අදාළ ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියකු විසින් ඔවුන්ගේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

එහිදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු යැයි කියන මෙම පුද්ගලයා පොලිස් නිලධාරියාට බැණවදිමින් දුරකථනයෙන් අදාළ සිදුවීම සම්බන්ධව තවත් අය දැනුම්වත් කරන ආකාරයක්ද එම වීඩියෝවල දැක්වේ. එම අවස්ථාවේ ලේකම්වරයාගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැණ වැදීමට කටයුතු කරන අයුරු ද දැක්වේ.

මාතර, අපරැක්ක පිවිසුමෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිස අතුරුගිරිය දක්වා පැමිණීමේ අපේක්‍ෂාවෙන් කැබ් රථයක පැමිණෙන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු යැයි හඳුන්වා ගත් මෙම පුද්ගලයාගේ රියදුරු බලපත‍්‍රය පරීක්‍ෂා කිරීමට එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු ක්‍රියාකිරීමත් සමඟ මෙම සිද්ධිය සිදුවී තිබිණි

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව පොලිස් කොස්තාපල් රුවන් (40538) යන නිලධාරියාට පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුක්තව ස්ථාන මාරු කිරීමේ ලිපියක් ලැබී තිබේ.

කෙසේ වෙතත්, මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ උපදෙස් පරිදි අදාළ පොලිස් නිලධාරියාට ලබාදුන් ස්ථාන මාරුව පසුව අවලංගු කර ඇති බව ද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *