අපේ Face Mask විදෙස් වෙළෙඳපොළට….! පිට රටින් ගෙන ඒම නවතා දමයි…! – ඇමැති විමල් මැදිහත් වෙයි…

July 15, 2021 at 8:38 am | by emanisa.lk

දේශීයව මුව ආවරණ නිෂ්පාදකයින්ගෙන් සැදුම්ලත් සමස්ත ලංකා මුහුණු ආවරණ නිෂ්පාදකවරුන්ගේ සංගමය සිය ගැටලු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමග විශේෂ සාකච්ජාවක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍යංශයේ දී පවත්වා තිබේ.

දැනට මුහුණු ආවරණ ආනයනය කිරීම නවතා ඇතත් වංචාකාරී ලෙස විවිධ ක්‍රම මගින් මෙරටට ගෙන්වනු ලබන මුහුණු ආවරණ තහනම් කර දෙන ලෙස දේශීය නිෂ්පාදකයින් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා ඒ මොහොතේම ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන පාලක අමතා ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නේය.

දේශීයව මුහුණු ආවරණ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු සංශෝධනය, මෙම ක්ෂේත්‍රයේ දේශීය නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කිරීම, මෙම දේශීය නිෂ්පාදකයින් Made in Sri Lanka සන්නාමය යටතේ ලියාපදිංචි කිරීම, GNP වැනි සහතිකයන් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ලබාගැනීම, දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනයන්ගේ මිල සහ තත්ව පාලනය කිරීමට පියවර ගැනීම වැනි කරුණු රැසක් පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා කෙරුණු අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී පියවර ගැනීමට සුදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

දේශීය නිෂ්පාදකයින්ගේ තවත් වැදගත් ඉල්ලීමක් වූයේ ඔවුන්ගේ ගුණාත්මක නිෂ්පාදන අපනයනයට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ය. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමුකළ අමාත්‍යවරයා යුරෝපය ඇතුළු විදෙස් රටවල් වෙත දේශීයව නිෂ්පාදිත මුහුණු ආවරණ අපනයනයට ඇති හැකියාව පිළිබද සොයා බැලීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයන් ලැබූ අතර අමාත්‍යවරයා නිෂ්පාදකයනට කියා සිටියේ ඉදිරියේදී ඒ සඳහා සුදානම් වන ලෙස ය. ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේ දී අමාත්‍යාංශය සමග එක්ව සිදුකරන ලෙස අමාත්‍යවරයා දේශීය නිෂ්පාදකයන්ට උපදෙස් ලබා දුන්නේය.

මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස