අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් 80%ක් මරණ වළක්වාගන්න තිබුණා…! – GMOA….

August 26, 2021 at 8:06 am | by emanisa.lk

තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව සකස් කළ එන්නත්කරණ වැඩසහටන ක්‍රියාත්මක කළේ නම් මෙරට සිදුවන මරණවලින් 80%ක් වළක්වා ගත හැකිව තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනාධිපතිවරයා තම වැඩපිළිවෙළ පිළිගෙන එය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ ඒ වෙනුවට වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ හේතු පැහැදිලි කළ යුතු යැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වලා දුන්න කාරණයක් තමයි මේ එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොහොමද අපි මරණ ප්‍රමාණය අඩු කරගන්නෙ කියන එක. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න විශෙෂඥ වෛද්‍යවරුන්ගේ මතයත් ඒකරාශී කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සඳහා ක්‍රමවේදයක් හදා දුන්නා. පහුගිය මැයි මාසයේදී එය ජනාධිපතිතුමන්ට බාරදුන්නාම ජනාධිපතිතුමන් ද එය පිළි අරගෙන ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදුන්නා.

එතකොට එහිදී ප්‍රධානම පරමාර්ථය වුණේ මේ එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොහොමද 90%ක් පමණ අපි මරණ වළක්වාගන්නෙ කියන එක. මෙහි දී අපි පෙන්වා දුන්නු කාරණයක් තමයි වැඩියෙන් මරණ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ, ඒවගේම බෝ නොවන රෝගවලින් පෙළෙන අය. ඒ අයට ප්‍රමුඛතාව දෙන ක්‍රමවේදයක්, එන්නත්කරණ ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. එහි දී අපි පෙන්වා දුන්නා රටට මිලියන 10ක් එන්නත් මාත්‍රා එන විට 90%ක් මරණ වළක්වාගන්නෙ කොහොමද කියන එක.

අද වෙනවිට දළ වශයෙන් මිලියන 20ක් එන්නත් මාත්‍රා ඇවිල්ලා තියෙනවා. ඒ එන්නත් මාත්‍රා මිලියන 20න් පළවෙනි එන්නත් මාත්‍රා මිලියන 10 අපි හරියට දීලා තිබුණා නම් නිවැරදිම ක්‍රමවේදයට දීලා තිබුණා නම් මේ සිදුවන මරණවලින් 80%කට වඩා වළක්වාගන්න තිබුණා. එහිදී ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීලා තියෙද්දීත් අපට දැකගන්න පුළුවන් වුණා ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලටත් උඩින් ගිහිල්ලා ඇතැම් පාර්ශ්ව මේ ක්‍රමවේදය වෙනස් කරනවා. එතකොට මේක පිළිබඳව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥවරුන් දෙදෙනා ජනාධිපතිතුමාටත් ඉහළින් ඒ නියෝග ක්‍රියාත්මක කිරීමට සිදුවූ හේතුව පැහැදිලි කරන්න ඕනෙ”

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස