අපේක්ෂකත්වයට එජාපයෙන් රනිල් සජිත් කරූ දයා! සජිත්ට පක්ෂ කෘත්‍යාධිකාරියේ 64න් 21ක් විතරයි!

September 22, 2019 at 9:27 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ලබන අඟහරුවාදා (24) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් හතරක් ​යෝජනා වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කෙරෙන අතර කරු ජයසූරිය හා දයා ගමගේ යන නම් ද රනිල් පාර්ශ්වයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඊට අමතරව තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති ධුර අපේක්ෂකයා තේරීම නාමයෝජනා මණ්ඩලයකින් සිදු කිරීමට සැලසුම් කර ඇත. එම මණ්ඩලයට නියෝජිතයන් හය දෙනකු ඇතුළත් වේ. ඡන්ද විමසීමකින් එම හය දෙනා තෝරා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. එම නාම යෝජනා මණ්ඩලය මගින් ඉදිරියේදී ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් පසු අවසන් තීන්දුවට එළඹීමට නියමිතය.

කෙසේ වෙතත් පසුගිය 19 දින රනිල් පාර්ශ්වය පැවැති සාකච්ඡාවකදී ගණන් බලා ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 64 න් සජිත් ප්‍රේමදාසට 21 දෙනකුගේ පමණක් සහාය ලැබෙන බවය. එබැවින් රනිල් වික්‍රමසිංහගේ නම පමණක් ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමේ යෝජනාවට ඉදිරිපත් කළ යුතු බව තීරණය වී ඇත. අවශ්‍ය නම් පසුව රනිල් වික්‍රමසිංහ අපේක්ෂකත්වයෙන් ඉවත්ව එය කරු ජයසූරියට ලබා දීමෙන් පක්ෂයේ බෙදීම වළක්වාගත හැකි බව සාකච්ඡා කර තිබේ.

සජිත් ප්‍රේමදාස කිසිම අවස්ථාවක පක්ෂය අතහැර නොයන නිසා මේ අවස්ථාවේ හොඳම අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය ඉදිරිපත් කිරීම සුදුසු බවට පක්ෂ නායකත්වයට ඔහුගේ හිතවතුන් යෝජනා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස