අපි මැදිහත්වෙලා ඇවන්ගාර්ඩ් වහලා දැම්ම නිස මේ රටේ හැම පුරවැසියකුට රු. 400ක් ලැබුණා! – පාඨලී

October 3, 2019 at 5:49 pm | by Editorial

ඇවන්ගාඩ් පිළිබඳව පරීක්ෂණ සිදු කළේ අප නොවේ නීතිපති දෙපාර්තමේන්තුව බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ දියසරු උයනේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ගාලූ වරායේ නවතා තිබූ ඇවන්ගාඩ් පාවෙන නැව පිළිබඳව පරීක්ෂණ සිදු කළේ මම හෝ වෙන කවුරුවත් නෙමෙයි නීතිපති දෙපාර්තමේන්තුව. ඔය කියන සුහද ගම්ලත්ගේ දෙවෙනියා වන වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒ පිළිබඳව නිර්දේශ නිකුත් කළේ. ඔහු ප‍්‍රකාශ කළා මේ නැවේ අවි ආයුධ රඳවා ගැනීම නිසා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා ගිනිඅවි ආඥා පනත යටතේ අපරාධ වරදක් සිදුකර තිබෙන බව. ඒ කියන්නේ ශ‍්‍රී ලංකා රජයට දැනුම් නොදී අවි ආයුධ ආනයන අපනයන කි‍්‍රයාවලියක නියැලීම සම්බන්ධයෙන්.

දෙවනුව ඔහු චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් දැනුවත්ව එම අපරාධ කි‍්‍රයාවලියට අවි ආයුධ ළඟ තබාගැනීම, අවි ආයුධ ආනයන අපනයන කිරීමට නිසි බලපත‍්‍රයක් නැතිව ගිනිඅවි ආඥා පනත හා පිපිරුම් ආඥා පනත යටතේ අපරාධ වරදක් සිදුකර තිබෙන බව. ඊළඟට මේවා සම්බන්ධයෙන් දැනුවත්ව සහය දුන්නයි කියන එක පිළිබඳව පස් දෙනෙකුට චෝදනා කලා ඔවුන්ව වහාම අත්අඩංගුවට අරගෙන ක්‍රියා කරන්න.

ඒ එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අනෙක් කෙනා තමයි ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්තුමිය. අනෙක් කෙනා තමයි ඇවන්ගාඞ් ආයතනයේ ප‍්‍රධානියා හා ප‍්‍රධාන විධායක නිලධාරියා. මෙන්න මේ අය සහ රක්නා ලංකා එකේ ප‍්‍රධානියා. මේ පස් දෙනා වහාම අත්අඩංගුවට අරගෙන මැජෙස්ටේ‍්‍රට්ට ඉදිරිපත් කරන්න කියලා යෝජනා කළේ දේශපාලකයෝ නෙමෙයි සුහද ගම්ලත් මහත්මයා මූලිකත්වය දරපු ඒ සොලිස්ටර් ජෙනරල් වසන්ත නවරත්න බණ්ඩාර තමයි ඒක යෝජනා කළේ. එය කි‍්‍රයාත්මක නොකළේ කවුද කියන එක තමයි අද මේ රටේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නය. පතුරමක් අතේ තිබුණත්, වෙඩි බෙහෙත් දශමයක් අතේ තිබුණත් හිරේ විලංගුවේ යන රටේ මේ ආයුධ 5,000 ක් සමග නටපු නැටිල්ල තමයි අපට තිබෙන ප‍්‍රශ්නය.

ඒ වගේම අපි මැදිහත් වෙලා මේ නීතිවිරෝධී ගණුදෙනුව අවසන් කරලා නාවුක හමුදාවට මේක භාර දුන්නට පසුව 2015 ඔක්තොම්බර් මාසේ සිට මේ දක්වා මිලියන 8,000 ක් මේ රටට ඉතිරි වෙලා තිබෙනවා. මේක ගියේ පුද්ගලයින්ගේ සාක්කුවලට. කොහොමද ඒ පුද්ගලයින්ගේ සාක්කුවලට ගිය විදිහ ඉදිරියේදී හෙළිකරනවා.

අද මේ රටේ හැම පුරවැසියෙකුටම රුපියල් 400 ක ධනයක් අපේ මේ ක්‍රියාවලියෙන් ලැබිලා තිබෙනවා. මේක වංචාවක්ද නැද්ද කියන එක තීරණය කරන්න මේ රටේ අධිකරණය සතු දෙයක්. ඒ නිසා අපට කනගාටුයි කියන්න හැම වෙලාවෙම දේශපාලකයින්ට කෑ ගැසුවට අපරාධකාරයෝ රැක්කේ කවුද කියන එක පිළිබඳව විශේෂ පරීක්ෂණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ගණයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඇති කළ යුතුයි. මේ ජනාධිපතිවරණය අප ජයගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියා කරනවා.”

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස