අපි ඔබ වගේම ආක්‍රමණිකයාට විරුද්ධව සටන් කළ විමුක්ති සංවිධානයක්…! ඇෆ්ගන් බෞද්ධ උරුමය රැකගන්න කටයුතු කරනවා…! – තාලිබාන් සංවිධානය ලංකාවට කියයි…

August 16, 2021 at 9:25 am | by emanisa.lk

තලේබාන් සංවිධානයට කොටි සංවිධානය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තමන් ස්වාධීන විමුක්ති සංවිධානයක් බවත් එම සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක සහ ජාත්‍යන්තර මැදිහත්කරු සුහයින් ෂහීන් අවධාරණය කරයි.

ඩෙිලිමිරර් පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කොට ඇත.

තලේබාන් සංවිධානය, විමුක්ති සංවිධානයක් ලෙස මිස, ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නොසලකන ලෙස ද සුහයින් ෂහීන් එහි දී ඉල්ලීමක් කොට තිබේ.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ සිදුවන විදේශ ආක්‍රමණවලින් ඇෆ්ගනිස්ථානය මුදා ගැනීම සඳහා තමන් සටන් කළ බවත්, එය, ලංකාව නිදහස් කර ගැනීම සදහා ආදී මුතුන් මිත්තන් ගෙන ගිය සටනට සමාන සටනක් බවත් ඔහු පවසයි.

ඇෆ්ගනිස්තානය තුළ තිබෙන බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, එම උරුමයන් ආරක්ෂා කරන බවත් ඔහු අවධාරණය කරයි. කෙසේ වුව ද ලෝක ප්‍රකට ලොව උසම බුදු පිළිම ලෙස සැලකුණු බාමියන් බුදු පිළිම විනාශ කරන ලද්දේ 2001 වසරේ එවක පැවැති තාලිබාන් පාලනය යටතේ ය.

වසර 20ක මෙහෙයුම් අවසන් කර ඇමරිකානු හමුදා ඉවත්ව යාමත් සමඟ සතියක් ඇතුළත ඇෆ්ගනිස්ථානය අල්ලා ගැනීමට තාලිබාන් සංවිධානය සමත් වූ අතර ජනාධිපතිවරයා රටින් පළාගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *