අපිත් ඉංගිරිසිකාරයෝ වගේ එක ජාතියක් විදිහට නැඟී සිටින්න ඕන!

July 16, 2019 at 2:55 pm | by emanisa.lk

අපිත් ඉංගිරිසිකාරයෝ වගේ එක ජාතියක් විදිහට නැඟී සිටින්න ඕන! – අගමැති (video)

ලොව පුරා විවිධ රටවලින් එංගලන්තයට පැමිණි පිරිසක් වසර 5-6ක් ඇතුළත ඉංගිරිසි ජාතිකයන් බවට පත්ව ලෝක කුසලානය දිනාගත් බවත් ඔවුන්ගේ ඒකාබද්ධ වැඩපිළිවෙළ අපේ රටට වඩා වේගවත් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

”ඊයේ රාත්‍රියේ ඔබ බොහෝ දෙනෙක් රාත්‍රී 12ට කලින් නිදා ගත්තෙ නැතුව ඇති. ඔබ ලෝක කුසලාන තරඟය බලන්න ඇති. එංගලන්තය තමයි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. එම කණ්ඩායම විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. කණ්ඩායමේ නායකයා සංක්‍රමණිකයෙක්. ස්ට්‍රොක් ක්‍රීඩකයා සංක්‍රමණිකයෙක්, හොඳම පන්දු යවන්නා සංක්‍රමණිකයෙක්. තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියා අවුරුදු පහකට හයකට පසුව එංගලන්තයට ඇවිත් ඉංග්‍රීසි ජාතිකයන් වුන.

ඔවුන්ගේ ඒකාබද්ධ වැඩපිළිවෙළ අපට වඩා වේගවත්. අපට එම තත්වයට එන්න කල් යනවා වැඩියි. අ‌පේ රටේ අවුරුදු දහස් ගණනක් විජාතීන් එකට ජීවත් වෙනවා. ඒ වගේම සියලු දෙනා ඒකාබද්ධව එකමුතුව වැඩ කරනවා. මම අනිවාර්යයෙන්ම කිව යුතුයි 2015 වසරෙන් පසු අපි හැමෝම එකට වැඩ කළා. අපි එය යථාර්ථයක් බවට පත් කළා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට එම එකමුතුකම ඉදිරියටත් පවත්වා ගත යුතුයි.

අපි සිංහල ජාතියක් වීම ගැන ආඩම්බර විය යුතුයි. මම බෞද්ධයෙක්වීම ගැන ආඩම්බර වෙනවා. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. දෙමළ ජාතිකයන් සිටීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම හින්දු, කතෝලික, මුස්ලිම් ජාතීන් එකට ජීවත්වීම ගැන මම ආඩම්බර වෙනවා.”

අගමැති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (15) යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස