අනුර ඕස්ට්‍රේලියාවේ කසළින් විදුලිය හදන හැටි බලයි…! ලංකාවටත් තාක්ෂණය ගේන්න සාකච්ඡා කරයි..!

June 28, 2023 at 2:09 pm | by emanisa.lk

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සිය බ්‍රිස්බේන් රැලිය අවසානයේ දී කසළ, අපද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය හා බලශක්ති නිෂ්පාදන කටයුතු නිරීක්ෂණයකට එක්ව තිබේ. එය බ්‍රිස්බේන් හී ජාතික විද්වත් සංවිධානයේ (NIO) සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද බවයි වාර්තා වන්නේ.

බ්‍රිස්බේන් නගර සභාව ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර සභාව (Brisbane City Council) ලෙසයි සැලකෙන්නේ. එහි දෛනිකව එක්වන විශාල කසළ හා අපද්‍රව්‍ය ප්‍රමාණයක් වර්ගීකරණය කළ පසු ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කොටස් පරිසරයට හානියක් නොවන ආකාරයට ආරක්ෂිත ලෙස සැලසුම් කළ සනීපාරක්ෂිත භූමි පිරවුමක් (sanitary landfill) බවට පත්කරන බව සඳහන් වෙනවා.

එම කසල භූමියෙහි කසල මගින් විදුලිය නිපදවන අතර දළ වශයෙන් වසරක දී මෙගා වොට් 46,000ක (46000MWh) විදුලිය උත්පාදනයක් එහි සිදු කෙරෙන බව සඳහන් වෙයි. මෙම මධ්‍යස්ථානයේ දී නිපදවෙන මීතේන් වායුව නල මගින් ගෙනගොස් එහි ඇති බලාගාරයක දී විදුලිය නිපදවීම සිදු කරනු ලබනවා. එම විදුලිය නිවාස 15,000 කට වඩා වැඩි ප්‍රමාණයකට මේ වන විටත් Brisbane City Council පාලනය යටතේ ලබා දෙයි. ‍

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ බ්‍රිස්බේන් NIO හී සාමාජිකයින් බ්‍රිස්බේන් නගර සභාවේ ඉංජිනේරුවරුන් සහ පාරිසරික නිලධාරීන් සමඟ මෙම කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ තාක්ෂණය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ එවැනි ව්‍යාපෘතියක් වෙනුවෙන් තාක්ෂණ සහය ලබාගැනීමේ හැකියාව සොයා බැලීමේ චාරිකාවක නියුතු වූ බව සඳහන් වෙයි. මෙම අවස්ථාව සඳහා Brisbane City Council සිය උපරිම සහයෝගය දක්වා ඇති බව NIO බ්‍රිස්බේන් කමිටු සාමාජික ඉංජිනේරු ජයනාත් පෙරේරා පවසයි. ඔහු සඳහන් කළේ මෙම ව්‍යපෘතියේ නියෝජිතයන් විසින් අදාළ තාක්ෂණ සහාය ලබා දීමට ඇති හැකියාව ප්‍රකාශ කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *