අනාගත පරපුරේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම අසාධාරණයි…! දරුවන්ට අධ්‍යාපනය දෙමින් තම ඉල්ලීම් දිනාගන්න – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

October 19, 2021 at 8:02 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාත්නත්‍රවාදීව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බැවින්, දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.

මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන හා ජීවනෝපාය අනුකමිටු රැස්වීම මීගමුව නගර සභා ශාලාවේදී ඊයේ (18) දින පැවැති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“රජය තීන්දු කරලා තියෙනවා තව දුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ කියලා. මොකද මේක සමාජයට කරන විශාල අසාධාරණයක්. ඒ තරුණ පරපුරට කරන විශාල අසාධාරණයක්. ඒ අසාධාරණය නොකර 21 වෙනිදා පාසල් පටන් ගන්න සහයෝගය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ගුරු වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා අපට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා. සල්ලි තියෙනව නම් ඔය ඉල්ලන විදියටම වැඩි කරන්න කැමතියි. දැනට එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ඉදිරියේදී එය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. මතු අනාගත දරුවන් වෙනුවෙන් ආණ්ඩුව හා වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ජා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.

ආර්ථික අභියෝග, වසංගතයේ අභියෝග සියල්ල සමඟ තමයි රජයක් ලෙස අවම සිසුන් සිටින පාසල් විවෘත කිරීමට තීන්දු කරලා තියෙන්නේ. මේ සඳහා ඇති අභියෝගය තමයි, මේ වන විට පැවැත්වෙන ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය. එහිදී ඔවුන් ඉල්ලන ඉල්ලීම් කිසිවක් අසාධාරණ ලෙස අපි දකින්නේ නැහැ. ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය යන මූලික ප්‍රතිපත්ති තීන්දුව අපි අරගෙන තියෙනවා.

පසුගිය කාලයේදී රට වසා දැමූ නිසා රටේ ආර්ථිකයට ලැබෙන ආදායම් කිසිවක් ලැබුණේ නැහැ. අපගේ ආනයනය අපනයනය ගත් විට වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10ක්. ඉකුත් රජයන් එය ආවරණය කර ගත්තේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන තුළින්. සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන බිලියන 4ක් ඉකුත් වසර දෙක තුළ ලැබුණේ නැහැ. මේ වසරට ලැබිල තියෙන්නේ මිලියන 25යි.

එම අභියෝගාත්මක කාලය අවසන් කරල තමයි රටේ ජනතාව නඟාසිටුවන්න උත්සාහ කරන්නේ. එහි ප්‍රථම පියවර තමයි දරුවන්ගේ අධ්‍යාපනය. රජයක් ලෙස ගන්නා තීන්දුවලට සමහර අය එකඟ නොවුනත් දරුවන් ගැන හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට විශාල ගෞරවයක් මේ සමාජය තුළ තියෙනවා. දරුවන්ගේ විශාල ආදරයක් ඔවුන්ට තියෙනවා. එම ආදරය සහ ගෞරවය නැති කර ගන්න හදන්න එපා කියන එකයි මගේ ඉල්ලීම.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *