අන්තවාදීන්ට මේ රටේ ආණ්ඩු කරන්න අපි ඉඩ තියන්නේ නෑ! – ගම්මන්පිල

July 6, 2019 at 5:47 pm | by emanisa.lk

අන්තවාදීන්ගේ ආගම් අනුව රටේ ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි බවත් අන්තවාදීන් සිය ආගම රටේ ව්‍යවස්ථාව අනුව සකසාගත යුතු බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

නුගේගොඩ දී පැවති වහාබ් අන්තවාදයට එරෙහි ජනතා රැලිය හා එක්වෙමින් හෙතෙම (04) මෙම අදහස් දැක්වීම සිදු කළේය.

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් බිහි වූ අලුත් ශ්‍රී ලංකාව

අප්‍රේල් 21 වෙනිදා සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් අලුත් ශ්‍රී ලංකාවක් බිහි කළා. ඒ අලුත් ශ්‍රී ලංකාවේ සිංහලයා තමන්ගේ පක්ෂයට උඩින් රට තියන්න පටන් ගත්තා. අන්න ඒ නිසයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට සිදුවූයේ පක්ෂය ඇතුළේ ඉන්න වහබ් අන්තවාදීන්ට එරෙහිව සටන් කරන්න. ඒ නිසා තමයි දෙමළ ජනතාවගේ ඊනියා නායකයින් කියන දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ සහරාන් වෙනුවෙන් කඳුළු හලන කොට ඒ කිඹුල් කඳුළුවලට රැවටෙන්නේ නැතුව අහිංසක දෙමළ ජනතාව එදා වව්නියාව කල්මුණේ දී මඩකලපුවේ දී සිංහල ජනතාව සමඟ එකට අත්වැල් බැඳගෙන උපවාසයට වාඩිවුනේ. ඒ නිසා තමයි තමන් අතර සැඟවිලා ඉන්න මුස්ලිම් අන්තවාදියා පිළිබඳ ඔත්තු ලබා දෙන්න මුස්ලිම් ජනතාව ඉදිරියට ඇවිල්ලා, මුස්ලිම් ජනතාවත් ජාතියට උඩින් රට ඔසවා තබන්න කටයුතු කළේ.

ඒ වගේම අපි දැක්කා මුස්ලිම් ජනතාව අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන අන්තවාදයට එරෙහිව උද්ඝෝෂණ කළා. අන්තවාදීන්ගේ පල්ලි තමන්ගෙ අතින් කඩලා විනාශ කළා. අලුත් ශ්‍රී ලංකාවක් බිහි වුණා. පක්ෂයට උඩින් ජාතියට උඩින් රට ඔසවා තබන ජාතියේ සිහිනය සැබෑවෙන ලකුණු අපිට පෙනෙන්න ගත්තා.

නමුත් මිත්‍රවරුනි කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරා. රටේ නායකයෝ වහාබ් අන්තවාදීන්ගේ සල්ලි කුට්ටියට ඡන්ද කුට්ටියට යටවෙලා උන්ව ආරක්ෂා කරන තැනකට තල්ලු වුණා. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අරගලයේ දී වහබ් අන්තවාදීන්ට ජයග්‍රහණය දීලා සටන කෙරවල කළා. ඒ විතරක් නෙවෙයි මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 21ක් ඉන්නව පාර්ලිමේන්තුවේ. ඇමතිවරු 9 දෙනෙක් හිටියා. අපේ අන්තවාදියා කියලා ඇඟිල්ල දික් කළේ රිෂාඩ් බදුර්ඩීන්ට පමණයි. හැබැයි මේ අන්තවාදයේ පිටිපස්සේ ඉන්න බලවේග මේ 21 එක මිටියට තියලා ඇමතිවරු 09 දෙනා අස් කරල අපේ ඇන්ද ඉර මකලා දැම්මා.

අපි පෙන්නුවා මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධයි. අන්තවාදීන් සුලුතරයයි කියල අපි දෙපැත්තට බෙදලා ඉරක් ඇන්දා. හැබැයි මුස්ලිම් දේශපාලකයෝ එක මිටියට එකට අස්වෙලා තොපි වැරදියි මුස්ලිම් අපි ඔක්කොම එකයි කියලා පෙන්නුවා. අපි ඒ අන්තවාදියා සහ සාමාන්‍ය මුස්ලිම් ජනතාව කියලා වෙන් කරල ඇන්ද ඉර මුස්ලිම් නායකයින්ට මකල දාන්න වහබ් අන්තවාදීන් බල කළා. දැන් ආයෙත් අර කාලකන්නි ශ්‍රී ලංකාව බිහිවෙමින් පවතිනවා. ඒකට අපි බයයි.

මෙරට මුස්ලිම් රටක් වන වර්ෂය කවදාද ?

මිත්‍රවරුනි අද අපි සිංහල ජාතිය වඳ වෙනවා කියලා කිව්වම සමහරු අපිට හිනා වුණා. සිංහල ජනතාව නිදහසෙන් පස්සේ 1881 ඉඳන්ම ප්‍රතිශතය වැඩි වෙලා කියලා මුස්ලිම් නායකයෝ කරුණු කිව්වා. මොකක්ද ඇත්ත. නිදහසෙන් පස්සේ සිංහලයා 69% සිට 75% දක්වා වැඩි වෙලා තියෙන බව ඇත්තයි. ඒක අපි නෑ කියන්නෙ නෑ. අතීතය සුන්දරයි නමුත් අනාගතය බියකරුයි. මුස්ලිම් ජනගහනය පිම්මේ වැඩෙමින් පවතිනවා. 1911දී 6%යි, 1921දී 6%යි, 1931දී 6%යි, 1946දී 6%යි, 1953දී 6%යි. 1911 ඉදන් 1953 වන තෙක් අවුරුදු හතළිස් දෙකක් රටේ ජනගහන වර්ධන වේගයයි මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගයයි සමානයි. ඒ නිසා තමයි ප්‍රතිශතය වෙනස් නොවුණේ. හැබැයි දැන් තත්වෙ මොකක්ද ? 1981 වෙද්දි මේ 6% වැඩිවෙනවා 7% දක්වා. 2012 වෙන විට ඒක 9% වෙනවා.

මම දැන් තමුන්නාසේලාට අනාවැකියක් කියනවා. 2012 ඊළඟ ජන සංගණනයෙදී මුස්ලිම් ජනගහණය 12%යි. රටේ ජනගහනය 75% ක් ඉන්න සිංහලයා ළමා ජනගහනයේ දී 71% දක්වා පහත වැටිලා. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදහසින් පස්සේ සිංහල ජනගහන ප්‍රතිශතය තවත් වසර දෙකකින් පැවැත්වෙන ජන සංගණනයේදී 75% සිට 73% දක්වා අඩුවෙලා සිංහල ජනගහනය ඇද වැටීම ආරම්භ වීමට නියමිතයි. අද මං තමුන්නාන්සේලාට වචනයක් දෙනවා. ජූලි මාසයේ 23 වැනිදා මම තියෙන මාධ්‍ය හමුවක මෙරට මුස්ලිම් රටක් වන වර්ෂය විද්‍යාත්මක සාක්ෂි සමඟ විද්‍යාත්මක ගණනයන් සමග පෙන්නලා දෙන්න ලෑස්තියි.

වහාබ්වාදයෙන් බැට කන්නේ සිංහලයන් පමණද?

ඇයි අපි මේකට බයද? ඔව් අපි මේ රට මුස්ලිම් රටක් වෙනවාට බයයි. මුස්ලිම් සමාජය අද වහාබ් අන්තවාදීන්ට ගොදුරු වෙලා තියෙන නිසා මේ රටේ මුස්ලිම් ජනගහණය වැඩි වෙනවාට අපි බයයි. අද අපි දැක්කා මේ වහාබ් අන්තවාදයට ගොදුරුවීම නිසා සිංහල අපිට විතරක් නෙවෙයි අහිංසක මුස්ලිම් ජනතාවටවත් නිදහසේ සාමකාමීව එවැනි රටක ජීවත් වෙන්න බෑ. හොඳම උදාහරණය තමයි බණ්ඩාරගම අටලුගම පදිංචි ෆාතිමා ෆායාම් කියන මුස්ලිම් කාන්තාවගේ කතාව. 2008 වර්ෂයේදී සිංහලයෙක් හා විවාහ වෙනවා. දෙන්නා ආදරණීය යුවලක්. මම බුද්ධාගමේ ඉන්නම්. ඔයා ඉස්ලාම් ආගමේ ඉන්න. අපි දෙන්නා ආගම් දෙකක වීම අපේ ආදරයට පවුල් ජීවිතයට බාධාවක් වෙන්න ඕනෙ නෑ කියලා මේ ආදරණීය යුවළ තීරණය කරනවා.

ඒ අයගේ පවුල් ජීවිතයට ආගම් දෙකක් වීම බාධාවක් නොවුනට අටලුගම ගමේ ජනතාවට ඒක කටු ඇනෙන සිද්ධියක් බවට පත්වෙනවා. අටලුගම පල්ලියට මේක මහ වදයක් වෙනවා. මේ සැමියට වාහන දීලා, තෑගිබෝග දීලා බුද්ධාගම අතාරින්න කියනවා. සැමියා බෑ කියනවා. බිරිදට කියනවා මේ සැමියා අතාරින්න. අනේ බිරිදත් බෑ කියනවා. මුළු ගමම වටලලා පල්ලියෙන් ඇවිල්ලා බෙල්ලට පිහිය තියලා කියනවා බුද්ධාගම අතහරින්න කියලා. මරණය හමුවේ ඔහු බෑ කියනවා. මෑතකදී මොකද වුනේ. ගෙට බලහත්කාරයෙන් දොරවල් කඩාගෙන පැනල තමන්ගේ දරුවන් ඉදිරියේ මේ කාන්තාවගේ ඇඳුම් ඉරලා දාලා පොලිසිය ඇතුළු දහස් ගණනක් බලාගෙන ඉඳිද්දී මේ කාන්තාව පාරේ ඇදගෙන යනවා. ගමේ මිනිස්සු මේ කාන්තාවට ගල් ගහනවා. වරද බෞද්ධයෙකු කසාද බැඳීම. සිංහල මනුස්සයා කරපු වරද තමන්ගේ ආගම අත්හරින්න බෑ කීම.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තියේ කියනවා මේ රටේ ජීවත් වෙන ඕනෑම පුද්ගලයකුට කැමති ආගමක් අදහන්න කැමති ආගමක් වැළඳගන්න නිදහසක් තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලොන්ගෙ ආගමේ කියනවලු කසාද බඳින මිනිහා ආගම මාරු කරන්න ඕන. ආගම අතහැර යෑම මරණීය දඩුවම ලැබෙන වරදක්. අපි ඒ මූලධර්මවාදී අන්තවාදීන්ට කියනවා උඹලගෙ ආගමේ හැටියට අපේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න අපිට බැහැ. මේ රටේ ඉන්නවා නම් රටේ ව්‍යවස්ථාව අනුව උඹේ ආගම වෙනස් කරගනිල්ලා කියන අනතුරු ඇඟවීම අපි ඔවුන්ට කරනවා.

මිත්‍රවරුනි අද මේක වෙන්නේ අම්පාර කල්මුනේ නෙවෙයි. මේක වෙන්නේ මඩකලපුවේ කන්තක්කුඩි නෙවෙයි. මේක වෙන්නේ සිංහල ගම්මාන දහස් ගණනකින් වට වුණු බණ්ඩාරගම අටලුගම. 9% සොච්චමක් ඉඳලා මෙහෙම නම් බහුතර අනෙකුත් ජාතීන්ට සලකන්නේ මේක 20%ක් වුණොත් කොහොමද? එහෙම වෙනවාට අපි හරි බයයි. අපි හැමෝම දන්නේ සහරාන් මාවනැල්ලේ බුදු පිළිම කුඩු කළා කියල විතරයි. මඩකලපුවේ මංගලාරාමේ හාමුදුරුවෝ කියනවා පහුගිය කාලේ නැගෙනහිර පළාතේ බුදු පිළිම සීයකට වඩා කැඩුවා, බෝගස් 63ක් විනාශ කළා.

අන්තවාදීන් අද නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කරමින් ඉන්නවා. එහෙනම් මිත්‍රවරුනි අපි මෙහෙ වහාබ් අන්තවාදය අතුගා නොදැම්මොත් තවදුරටත් අපි නිහඬව බලා සිටියොත් වසර 1400ක් පැරණි බාමියන් බුදු පිළිම ඇෆ්ගනිස්තානයෙන් කුඩු කරල විනාශ කරලා දැම්ම වගේ එදා බාමියන් බුදු පිළිමවලට වෙච්ච දේ හෙට අපේ සමාධි පිළිමයට වනතුරු එදා බාමියන් බුදු පිළිමයට වෙච්චදේ අපේ අවුකන පිළිමයට වනතුරු ද අපි ඇස් කන් වසා ගෙන බලා ඉන්නේ කියන ප්‍රශ්නය අද අපිට අහන්න සිද්ද වෙනවා.

මට ඊයේ Twitter පණිවිඩයක් ආවා ඩුබායිවලින්. ඒ කාන්තාව කියනවා මම මුස්ලිම් ජාතික කාන්තාවක්. වැඩ කරන්නේ ඩුබායිවල. මගේ පුතාගේ පන්තියේ අවුරුදු 13 ක ගැහැණු ළමයෙක් තාත්තා බලහත්කාරයෙන් ගොඩක් වැඩිහිටි මනුස්සයෙක්ට බන්දලා දෙන්න යනවා. මේ පුංචි දුව පාසල් යන්ඩ ඕන කියලා හඬා වැටෙනවා. මට කසාද බඳින්න බෑ මට මේව තේරෙන්නෙ නෑ කියලා හඬා වැටෙනවා. මම පොලිසියට ලිව්වා. මානව හිමිකම් කොමිසමට ලිව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිව්වා. කවුරුවත් පියවර ගන්නෙ නෑ. අනේ මහත්තයෝ මේ ගැන හොයා බලන්න කියලා. මම එතුමියට පිළිතුරක් යැව්වා කනගාටුයි කරන්න දෙයක් නෑ. අපේ රටේ නීතිය අනුව තාත්තා කැමති නම් මේ පුංචි දියණිය කෙතරම් අකමැති වුනත් පාසල් ජීවිතයට සමු දීල සෙල්ලම් කරන ජීවිතයට සමුදීලා හර ගොරහැඬි වැඩිහිටියගේ බිරිඳ වශයෙන් පවුල් ජීවිතයට එකතු වෙන්න සිදුවෙනවා කියලා.

මම ඇයට තව දෙයක් සිහිපත් කළා. කාති මණ්ඩලය කැමති නම් අද උපන් බිළිදු දියණියක් වුණත් පියාට විවාහයට පත් කරන්න පුළුවන්. අද බොහෝ දුප්පත් මුස්ලිම් පවුල්වල පුංචි දියණියෝ බහර් නමින් සැමියාගෙන් බිරිඳට ලැබෙන තෑග්ග ලබා ගැනීම සඳහා තාත්තගේ කැමැත්තෙන් විවාහකර දෙනවා. විවාහය කියන වචනයේ අර්ථයවත් නොදන්න වැඩි වියට පත් නොවුණු දියණියන් පවා කාති මණ්ඩලය කැමැත්ත දෙනවා නම් විවාහයට පත් කරන්න රටේ නීතියේ බාධාවක් නෑ.

මුස්ලිම් සමාජයේ විද්වතා විදියට සැලකෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්ෂූෆ් මේක වෙනස් කරගන්න උත්සාහ කළා. එතුමා කියනවා ඒ පත්කරපු කමිටුවේ බහුතරය මේකට විරුද්ධ වුණා. මම රවුෆ් හකිම්ගෙන් ඇහුවා ඇයි ඔබලා විරුද්ධ. ඔහු කියනවා නෑ මමත් විවාහ වීමේ වයස අවුරුදු 18 කරනවට කැමැතියි. අපේ ඇතුළෙ විරෝධයක් තියෙනවා. එහෙමනම් මිත්‍රවරුනි අද අනිවාර්යයෙන්ම සලීම් මර්ෂූෆ් වැනි විද්වතුන්ට මුස්ලිම් සමාජයට බලපෑම් කරන්න බැහැ. ඔය සම්ප්‍රදායික නායකයා රවුෆ් හකිම්ට මුස්ලිම් සමාජයට බලපෑම් කරන්න බෑ. මුස්ලිම් සමාජය වහාබ්වාදින්ගේ ග්‍රහණයට ලක් වෙලා ඉවරයි.

වහාබ් අන්තවාදීන්ගේ රූකඩ ආණ්ඩු මේ රට පාලනය කරපු යුගය අපි අවසන් කරනවා

පසුගිය අප්‍රේල් මාසයේ අපි රටට කිව්වා රිෂාඩ් බදුර්දීන් ලා ඉන්න ආණ්ඩුවකට අපි එකතු වෙන්නෙ නෑ කියලා. අද අපි කියනවා මින් මත්තට මේ ලංකාවේ රිෂාඩ් බදුර්දීන්ලට ආණ්ඩුව හදන්නට ආයේ කවම කවදාවත් ඉඩ දෙන්නෙත් නෑ කියලා. වහාබ් අන්තවාදීන්ගේ රූකඩ ආණ්ඩු මේ රට පාලනය කරපු යුගය අපි අවසන් කරනවා. මිත්‍රවරුනේ, අපි තවත් මාස හතරකින් හදනවා ආණ්ඩුවක්. වහබ් අන්තවාදීන්ගේ අල්ලේ නැටවෙන්නේ නැති ආණ්ඩුවක්. අරාබියෙන් එන ඩිනාර් රියාල් ඉදිරියේ දණ නොනමන ආණ්ඩුවක්. රිෂාඩ් බදුර්දීන්ගේ ජන්ද කුට්ටියට කෙළ හලන්න නැති ආණ්ඩුවක්. ඒ වගේම සහරාන්ගේ බෝම්බ තර්ජන හමුවේ බියෙන් සැලෙන් නැති ආණ්ඩුවක්.

අනාගත ආණ්ඩුවේ කවුරුහරි රිෂාඩ්ලත් ඒක්ක හොරෙන් මුකුළු කරන්න හිතාගෙන ඉන්නවා නම් දැන්මම ඒවා අත්හැර පල්ලා කියන අනතුරු ඇඟවීමක් අපේ මේ අවස්ථාවේ කරනවා. එනිසා මිත්‍රවරුනි මේක ජාතික ව්‍යාපාරයක්. අපි ඉන්නේ ආණ්ඩු හදන්නවත් ආණ්ඩු කඩන්නවත් නෙවෙයි. වහාබ් අන්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය බිහි වෙන්නේ ආණ්ඩුව මොක වුණත් ඒක වහාබ් අන්තවාදීන්ගේ ඔඩොක්කුවේ නැළවෙන සුරතලෙක් බවට පත් නොවන බවට වග බලා ගැනීමේ අනාගත ශ්‍රී ලංකාවේ වගකීම තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාරයට කියලා අපි සිහිපත් කරනවා.

ඒ නිසා අපි ආරාධනා කරනවා සිංහලයිනි වරෙල්ලා, දෙමලුනි නුඹත් වරෙල්ලා, සහජීවනය ප්‍රාර්ථනා කරන මුස්ලිම් මිනිසුනේ නුඹත් වරෙල්ලා. සියලු භේද එක පැත්තකට දාලා එක පවුලේ දරුවන් විදියට එක රෑනට ගැට ගැහෙන්න උඹලා සියල්ලම එකට වරෙල්ලා. එහෙම ආවොත් අපිට පුළුවන් අපි පතන සිහින දේශය ගොඩනඟා ගන්න. කවුරු සහරාන්ගේ බෝම්බවලට බිය වුණත්, කවුරු රිෂාඩ්ගේ ඡන්ද කුට්ටියට යට වුණත්, කවුරු අරාබියෙන් එන සල්ලිවලට කෙල හැලුවත්, මේ වහාබ් අන්තවාදය මේ මව්බිමේන් අතුගා දමන තුරු අපේ සටන නතර කරන්නෑ කියන ප්‍රතිඥාව තමුන්නාන්සේලාට ලබාදෙමින් වහාබ් අන්තවාදය භංග වේවා අපේ ආදරණීය මව්බිමට ජයෙන් ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස