අන්තරායකර රෝහල් අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ගබඩාව අසල! අපද්‍රව්‍ය පැටවූ රෝහල් සේවකයොත් රෝගාතුරු වෙති! ජන සංහාරයකට පදනම දැමීමක් යැයි වෛද්‍යවරු කියති!

August 13, 2019 at 9:40 pm | by emanisa.lk

ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකා නාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ අනාවරණයකට අනුව බදුල්ල සතොස කළමණාකාරවරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ සෝදිසියකදී මෙම තොගය සොයාගෙන තිබිණි.

බදුල්ල පළාත් මහ රෝහලේ වසර ගණනාවක සිට ඒකරාශී වූ භාවිතා කරන ලද ඖෂධවල එන්නත් කුප්පි සහ විෂ සහිත ආන්ත්‍රාදායක උපකරණ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් මීට සතියකට පෙර සතොස ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගොඩනැගිල්ලේ ගබඩා කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග විසින් සතොස කළමණාකාරවරයාට ඒ පිළිබද කරන ලද දැනුම් දීමක් මත ඒ පිළිබද රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් විමසා ඇති අතර එහිදී අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ ආන්ත්‍රාදායක ඖෂධ කිසිවක් එහි නැති බවය.

කෙසේ නමුත් පැවති සැකය මත සතොස කළමණාකාරවරයා මේ පිළිබද බදුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර ඇති අතර මෙම ස්ථානය වැටලීමට ලක් කළේ ඒ අනුවය‍.

ලොරි තුනක ආධාරයෙන් මේවා මෙම ස්ථානයට ගෙනවිත් ඇති අතර ඒවා පැටවූ රෝහල් සේවකයින් දහයකට ආසන්න සංඛ්‍යාවක් ද විවිධ රෝගවලට ලක්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මේවා ආශ්වාසවීම තුළින් මිනිස් ශරීරයට ඉතාමත් අහිතකර පිළිකා වැනි රෝගවලට ලක්විය හැකි බවත් දහස් සංඛ්‍යාත පිරිසක් දෛනිකව පැමිණෙන සතොස පරිශ්‍රය තුළ විශේෂයෙන් ආහාර ගබඩාව යාබදව ආන්ත්‍රාදායක මෙම ඖෂධ කොටස් ගබඩා කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා සිදුකළ මෙම ක්‍රියාව ජන සංහාරයකට අඩිතාලම දැමීමක් බවද වෛද්‍යවරයා කීය‍.

බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, නාගරික මන්ත්‍රීන් වන ශෂී සුරංග සහ උදේනි යන මහජන නියෝජිතයින් සහ වසන්ත ගුණරත්න,ප්‍රසාද් උපුල් කුමාර යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදුකරනු ලැබීය‍.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස