අන්තර්වාර පාලන ආණ්ඩුව රැවටිල්ලක්…! විපක්ෂ නායකකම නැති වුණත් මම ආණ්ඩුවට යන්නේ නෑ…! – සජිත්…

April 30, 2022 at 8:53 am | by emanisa.lk

අන්තර්වාර ආණ්ඩුවක් පිළිබඳව ඇතැමුන් පැතිර වූ නාඩගමේ ඇත්ත අද වන විට හෙළිදරව් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුව අච්චාරුවක් බවට පත්වී ඇති බවත්, ඒ අච්චාරුවක් වූ ආණ්ඩුවක අන්තර්වාර ආණ්ඩු කිරීමට හෝ එහි පාර්ශ්වකරුවන් වීමට සමගි ජන බලවේගය සූදානම් නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා, තමන් මේ නාඩගම පිළිබඳව මුල සිටම දැන සිටි බවද පැවසීය.

දවසේ 24 පැය පුරා අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා එකතු වන ලෙස ඉල්ලමින් දුරකතන ඇමැතුම් ලැබෙන බවත් ඇතැමුන් එසේ නොකළහොත් විපක්ෂ නායකකම අහිමි විය හැකි බවට ද තර්ජනය කරන බවත් හෙතෙම හෙළිකළේය.

විපක්ෂ නායකකම් හෝ ඊට වඩා ලොකු තනතුරු හෝ තමන්ට ආභරණ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ තනතුරු වලට වහල් වෙමින් ජනතා සටන පාවා නොදෙන බවද පැවසීය. ජනතා විරෝධය සහ ජනතාවගේ ඉල්ලීම වරදාන වලට පාවා දීමේ පුරුද්දක් සමගි ජන බලවේගයට නැති බව පැවසූ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අරගලය වන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත්පත් කරදීම බව ද පැවසීය.

අද මුදල් වරදාන වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩු අටවා ගැනිමට ඇතැමුන් කටයුතු කළත් සමගි ජන බලවේගය හෝ සමගි සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු එවැනි වරදානවලට නොරැවටෙන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *