අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම කරූට…! විධායක ජනාධිපති ධූරය අහෝසියි…!

May 8, 2022 at 9:10 am | by emanisa.lk

ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය පත්කර ගැනීමට ප්‍රධාන පාර්ශ්ව රැසක්ම දැනටමත් එකඟවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මහානායක හිමිවරුන් වෙත ඉදිරිපත් කළ යෝජනා 13 පදනම් කරගෙන මෙම ජාතික සමගි අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඊයේ (07) දිනයේදී එම යෝජනාවට එකඟතාව පළකර තිබිණි.

ඊයේ උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමතා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස නිල වශයෙන් ආරාධනා කළ අතර සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් තමන්ට තනි තීරණයක් ගත නොහැකි බවත් සිය පක්ෂය සමග සාකච්ඡා කර තීරණය ප්‍රකාශයට පත්කරන බවත් ය.

ඒ අනුව ඊයේ පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනාව පරිදි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබේ.

එහිදී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් නිර්මාණය කෙරෙන ජාතික ආණ්ඩුවක් බැවින් තනි පක්ෂයක නායකයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වනවාට වඩා සියල්ලන්ටම පිළිගත හැකි නිර්පාක්ෂික පුද්ගලයෙකු ඒ සඳහා පත්කර ගැනීමේ වැදගත් බවත් එහෙයින් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාර නොගන්නා බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය යනාදී තීරණාත්මක පාර්ශ්ව ගණනාවක් මේ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ කරූ ජයසූරිය බවට එකඟ වී ඇති බව ආරංචි මාර්ග හෙළි කරයි. කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට ගෙන ඒමට මයන්ත දිසානායක ඉල්ලා අස්වීමට එකඟ වී ඇති අතර හරීන් ප්‍රනාන්දු ද ඒ සඳහා කැමැත්ත පළකර තිබේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා මාලාවේ ප්‍රධාන යෝජනාවකි. පළාත් සභා ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජනය ක්‍රමය නිසා බහුතර ආණ්ඩුවක් ගොඩනැඟීම අපහසු පසුබිමක විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම බෙදුම්වාදයට උඩගෙඩි දීමක් බවට මේ වන විට විද්වතුන් අනතුරු අඟවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස