අනතුරු ඇඟවීමේ නිලධාරීන් විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල්වලට යැවීම ආණ්ඩුවට හොඳ නෑ..! – නාමල් රාජපක්ෂ….

February 17, 2025 at 5:11 pm | by emanisa.lk

මේ රටේ මැතිවරණ කල් දැමීමේ සංස්කෘතිය 2015 ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණ ද සහය දුන් යහපාලන ආණ්ඩුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

2016 පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය 2018 දක්වා කල් දැමීමට එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද පක්ෂ වූ බව හෙතෙම සිහිපත් කරයි.

තම පක්ෂය එදා මෙන්ම අදත් මැතිවරණ කල් දැමීමට විරුද්ධ බවත් මෙවර සාපෙළ විභාගය ලියන දරුවන්ට බලපෑමක් නොවන ආකාරයට එය පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ඒ සඳහා ගෙවල්වලට අනතුරු ඇඟවීමේ නිලධාරීන් යැවීම, මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම, අඟුණුකොළපැලැස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවැත්වීමට සූදානම් වූ විරෝධතාවට තර්ජනය කිරීම ආදී කටයුතු ආණ්ඩුව නතර කළ යුතු බව ද නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් දැරුව ද ඔවුන් නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් ඊට බාධා කිරීම ආණ්ඩුව ගොඩනඟන බව ප්‍රකාශ කළ නව දේශපාලන සංස්කෘතියට නොගැළපෙන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ අද (17) මේ බව ප්‍රකාශ කළේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *