අගමැති හිතවතිය අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් නොකළැයි ජනපතිට නඩු!

February 19, 2019 at 5:40 pm | by admin

ජනපති යොමු කළ දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම, ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමග අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයට වෙනත් නමක් මෙතෙක් නිර්දේශ නොකිරීම නිසා, ජනපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් කඩිනමින් ගොනු කිරීමට නීතිඥයෝ පිරිසක් හා සිවිල් සංවිධාන කීපයක් කටයුතු කරමින් සිටින බව දැනගන්නට තිබේ.

අභියාචනාධිකරණයේ වලංගුභාවය පැවතීමට නම්, අභියාචනාධිකරණයට සභාපතිවරයකු සමග 6 දෙනකු සහ 11 දෙනකු අතර වන සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඬුල්ලක්ද සිටිය යුතුය යන ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සහ ජනපති විසින් අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති තනතුරකට කෙනෙක් පත්කිරීමට පෙර, එම අභියාචනාධිකරණයේ නිත්‍ය සභාපතිවරයකු සිටිය යුතුය යන නීතිමය පදනම මත මෙම නඩු පැවරීම සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර අර්බුදය මෙන්ම ඒ හේතුවෙන් අභියාචනාධිකරණයේ මතුව ඇති අර්බුදය පිළිබඳ ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයද නිවේදනයක් නිකුත් කර තිබිණි. අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් ජනවාරි 09 වැනිදා සති දෙකක කාලයක් සඳහා, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිවරිය ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බවත්, නැවත වරක් සති දෙකක කාලයක් සඳහා ජනවාරි 24 වැනිදා ඇයව වැඩ බලන සභාපතිවරිය ලෙස පත් කළේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව බවත් එහි දැක්වේ. වරක් දින 14ක් සඳහාද, නැවත වරක් තවත් දින 14ක් සඳහාද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරිය වශයෙන් යම් විනිසුරුවරියක් පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය ඉක්මවා යාමක් බවද එහි සඳහන්ය.

මේ අතර කතානායකවරයාටද පිටපතක් සහිතව ජනපතිට ලිපියක් යොමු කරමින් සහ මාධ්‍ය හමුවක් කැඳවමින්, ව්‍යවස්ථාදායක සභාව දේශපාලන පළිගැනීම් සිදුකරන බවද එය දූෂිත ආයතනයක් ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි. සුහද ගම්ලත්ට නීතිපති තනතුර ලබා නොදීම, එස්.එම්. වික්‍රමසිංහට පොලිස්පති ධුරය ලබා නොදීම, දීපාලි විජේසුන්දරට ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීමක් හෝ අභියාචනාධිකරණයේ සභාපති ධුරය ලබා නොදීම, ඊවා වනසුන්දරට අගවිනිසුරු ධුරය ලබා නොදීම, කුසලා සරෝජිනී වීරවර්ධනට අභියාචනාධිකරණයට උසස්වීමක් ලබා නොදීම, ඒ ඒ. හෙයියන්තුඩුව, මනිලාල් වෛද්‍යතිලක හා අරුණ රණසිංහට අභියාචනාධිකරණය විනිසුරු ධුර ලබා නොදීම එවැනි සිද්ධීන් බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය පිළිබඳ විමසීමේදී ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පැවසුවේ, ව්‍යවස්ථාදායක සභාව මෙතෙක් කළ කිසිදු පත්කිරීමක් අසාධාරණ බව කිසිවකුත් ප්‍රශ්න කර නොමැති බවය. ජනපති විසින් පමණක් මෙතෙක් පත්කිරීම් කළ ක්‍රමය වෙනස් කර ජනපති හා ව්‍යවස්ථාදායක සභාව යන ස්ථාන දෙකෙන් ම තේරීමට ලක්වෙමින්. පත්කිරීම් කරන ක්‍රමය යහපත් නොවේදැයි ඔහු ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *