ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පවසයි.
ඉලංගෙයි මක්කල් දේශීය කච්චි, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, එක්සත් කොංග්‍රස් පක්ෂය, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය එලෙස සහාය දීමට එක්වූ බව එජාප මහලේකම්වරයා සඳහන් කරයි.
මූලික සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂ වල නායකයින් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාපයට සහයෝගය පළ කර තිබේ.
එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල නායකයින් අවධාරණය කළ බවත් ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමටද ඔවුන් එකඟතාව පළ කළ බවත් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.
එමෙන්ම ඉදිරි දෙසතිය ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් සිරිකොතට පැමිණි දේශපාලන පක්ෂ නායකයින් තීරණය කළ බව ද එජාප මහලේකම්වරයා සඳහන් කරයි.