අගමැතිකම දුන්න ම පැනලා දුවන එක සුබ ද අසුබ ද…! – ජනපති…

July 2, 2024 at 6:13 pm | by emanisa.lk

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදාකර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්දපෝෂණය, දුප්පත්කම සහ විරැකියාව සුබද? අසුබද? කියා පාර්ලිමේන්තුවේ දී අද (02) විපක්ෂ නායකවරයා නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

“ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබ ද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
එය අසුබයි.

අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නෙත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.

දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා. දුප්පත්කම අසුබයි. ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ. මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?

ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා. විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි. මම තව එකක් අහන්න කැමතියි.

රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *